Englishසිංහල

ලැපරොස්කොපි ක්‍රමයට යෝනි මාර්ගයේ ඉහළ කොටස ඔසවා සවි කිරීම

වෙනත් නම්: sacrocolpopexy · sacrohysteropexy (ගර්භාෂය තබා ගන්නා විට)

වෛද්‍ය සමාලෝචනය: විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට, MBBS, MD, DRCOG, DOWH, MRCPI, FRCOG · ප්‍රකාශිතයි — වෛද්‍ය සමාලෝචනය සම්පූර්ණයි

සාරාංශය

Sacrocolpopexy යනු යෝනි මාර්ගයේ ඉහළ කොටස පහත් වීම සඳහා කරන සැත්කමකි — ගර්භාෂය ඉවත් කිරීමෙන් පසු එම ඉහළ කොටස (vault) පහළට බැසිය හැක; නැතහොත් ගර්භාෂය සහ ගැබ්ගෙලම පහත් වී ඇති විට. පටු මෙෂ් පටියක් යෝනි මාර්ගයේ ඉහළ කොටසට සහ කොඳු ඇට පෙළේ පහළ කොටස (sacrum) මත ඇති ශක්තිමත් බන්ධනියට සවි කර, යෝනි මාර්ගය නැවත එහි ස්වභාවික ස්ථානයට ඔසවා එහිම රඳවා තබනු ලැබේ. ලැපරොස්කොපි ක්‍රමයේදී මෙය කරන්නේ කුඩා කැපුම් හරහාය.

  • යෝනි මාර්ගයේ ඉහළ කොටස පහත් වීම සඳහා ඇති වඩාත්ම කල් පවතින සැත්කම මෙයයි; යෝනි මාර්ගයේ ස්වභාවික දිශාවද නැවත ලබා දේ.
  • සම්පූර්ණ නිර්වින්දනය යටතේ, කුඩා කැපුම් හතරක් හරහා සිදු කෙරේ (මිලිමීටර 10ක් එකක් සහ මිලිමීටර 5ක කැපුම් තුනක්); බොහෝ ලැපරොස්කොපි නාරිවේද සැත්කම්වලට වඩා වැඩි කාලයක් ගතවේ.
  • මෙෂ් එකක් යොදා ගනී — එය යොදන්නේ උදරය තුළ; යෝනි මාර්ගය තුළ නොවේ. මෙය යෝනි මාර්ගයට යොදන මෙෂ් වලින් වෙනස් තත්ත්වයක් වන අතර, පහත වෙනම කොටසකින් පැහැදිලි කර ඇත.
  • ගර්භාෂය ඉවත් නොකර තබා ගන්නා විට එම සැත්කම හඳුන්වන්නේ sacrohysteropexy ලෙසය.
  • මෙෂ් එක ඔබේ පටක සමඟ එකට බැඳෙන තුරු, සති 4–6ක් බර එසවීමෙන් සහ තැටමීමෙන් වළකින්න.

සැත්කම ගැන

යෝනි මාර්ගයේ ඉහළ කොටස සාමාන්‍යයෙන් රඳවා තබා ඇත්තේ පිටුපසින්, sacrum දෙසට දිවෙන බන්ධනීවලින්ය. එම බන්ධනී දුර්වල වූ විට — බොහෝ විට ගර්භාෂය ඉවත් කිරීමෙන් පසු, ඇතැම් විට වයසත් සමඟ හෝ දරු ප්‍රසූතියෙන් පසු — එම ඉහළ කොටස පහළට බැස, කලක් යත්ම පිටතට හැරෙන්නටද පුළුවන. යෝනි මාර්ගයේ බිත්තියක් සකස් කිරීමෙන් මෙය නිවැරදි නොවේ; ආධාරකය නැවත සැකසිය යුත්තේ ඊට ඉහළ කොටසේය.

Sacrocolpopexy සැත්කමේදී ශල්‍ය වෛද්‍යවරයා පටු මෙෂ් පටියක් යෝනි මාර්ගයේ ඉහළ කොටසේ ඉදිරි සහ පසුපස පැත්තට සවි කර, එය ශ්‍රෝණියේ දාරය මතින් පිටුපසට ගෙන, අනෙක් කෙළවර sacrum මත ඇති ශක්තිමත් බන්ධනියට සවි කරයි. ඉන්පසු මෙෂ් එක උදර කුහරයේ ආස්තරණය (peritoneum) මගින් ආවරණය කරන නිසා එය බඩවැල්වලින් වෙන් වී තිබෙන අතර, යෝනි මාර්ගය තුළ නිරාවරණව නැත. යෝනි මාර්ගය එසවීමක් පමණක් සිදු කරයි, තදින් අදින්නේ නැත: අරමුණ එහි සාමාන්‍ය දිග සහ දිශාව නැවත ලබා දීමයි.

ඔබ සමඟ සාකච්ඡා කිරීමට මෙම සැත්කම සිදු කරන වෙනස් ආකාර 2ක් ඇත:

  • Sacrohysteropexy — ගර්භාෂය පහත් වී ඇති නමුත් එය ඉවත් නොකර තබා ගැනීමට කැමති කාන්තාවන් සඳහා, ගර්භාෂය තබාගෙනම මෙෂ් යොදා එසවීම.
  • යෝනි බිත්තියක් පහත් වීම සකස් කිරීම සමඟ එකට — බිත්තියක් නෙරා ඇති විට, එම අවස්ථාවේම ඉදිරි හෝ පසුපස ආධාරක සකස් කිරීම කළ හැක.

මෙෂ් (mesh) ගැන

නාරිවේද සැත්කම්වල යොදන මෙෂ් සම්බන්ධ ගැටලු ගැන ඔබ කියවා තිබෙන්නට පුළුවන. එම වාර්තා සම්බන්ධ වන්නේ යෝනි මාර්ගය හරහා යොදන මෙෂ් සහ මෙෂ් ටේප් නිසාවෙනි. එහිදී යෝනි මාර්ගයේ සමට යටින්ම මෙෂ් තිබෙන නිසා ඉන් ඇතිවෙන ගැටළු තිබෙනවා. නමුත් Sacrocolpopexy වෙනස් සැත්කමකි: මෙෂ් එක යොදන්නේ උදරය ඇතුලතින්, යෝනි මාර්ගයේ ඉහළ කොටසට සහ sacrum ට සවි කර, උදර කුහරයේ ආස්තරණයෙන් ආවරණය කරමින්ය.

  • මෙෂ් එක ස්ථිර ලෙස සිරුරේ රැඳෙන දෙයකි. ඉදිරි මාස කිහිපය තුළ එය ඔබේම පටක සමඟ එකට බැඳේ.
  • මෙෂ් වලට විශේෂිත සංකූලතාව — මෙෂ් එක පටක හරහා ගමන් කර නිරාවරණ වීම (erosion හෝ extrusion) — මෙහිදීද සිදු විය හැක; නමුත් උදරය හරහා යොදන විට එය දුර්ලභය.
  • එසේ සිදු වුවහොත් ඊට ප්‍රතිකාර කරනු ලැබේ; ඇතැම් විට මෙෂ් එකේ කොටසක් ඉවත් කිරීමට සිදු වේ.
  • මෙෂ් නොයොදන විකල්පද ඇත — දැන් ඒවා කලාතුරකින් යොදන නමුත් පහත ලැයිස්තුගත කර ඇත. ස්ථිර ලෙස රැඳෙන දෙයක් සිරුරේ තැබීමට ඔබ අකමැති නම් ඊට විකල්ප ක්‍රම ඇත.

මෙම සැත්කම සඳහා යොදන මෙෂ් සාමාන්‍යයෙන් ලංකාවේ ලබා ගත හැකි අතර මිලද දැරිය හැකි මට්ටමේ පවතී. ඔබේ අවස්ථාවේදී යොදන්නේ කුමක්ද යන්න වෛද්‍යවරයාගෙන් විමසන්න, සහ ස්ථිර ලෙස රැඳෙන දෙයක් සිරුරේ තැබීම ගැන ඔබ සෑහීමකට පත් වූ පසුම කැමැත්ත දෙන්න.

සිදු කරන්නේ ඇයි

මෙම සැත්කම විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට විසින් කොළඹ ප්‍රධාන පෞද්ගලික රෝහල් බොහොමයකදී සිදු කරනු ලැබේ. යෝනි මාර්ගයේ ඉහළ කොටස හෝ ගර්භාෂය පහත් වීම ඔබට කරදරයක් වන අතර සරල ක්‍රම ප්‍රමාණවත් නොවූ විට එය සලකා බලනු ලැබේ — එනම්:

  • පෙර කළ ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමකින් පසු යෝනි මාර්ගයේ ඉහළ කොටස පහත් වී ඇති විට — පහත්වී ඇති ගතියක්, ඇදෙන ගතියක්, හෝ දරුණු අවස්ථාවල යෝනි මාර්ගය පිටතට හැරීම
  • ගර්භාෂය පහත් වී ඇති නමුත් එය තබා ගැනීමට ඔබ කැමති විට (sacrohysteropexy)
  • යෝනි මාර්ගය තුල රඳවනයක් (pessary) සුදුසු නොවන විට, එය නිසි ලෙස රැඳෙන්නේ නැති විට, හෝ එය දිගටම භාවිත කිරීමට ඔබ අකමැති විට
  • පෙර කළ පහත් වීමේ සැත්කමක් අසාර්ථක වූ විට, නැතහොත් පහත් වීම දරුණු වූ විට — කල් පවතින එසවීමක් අවශ්‍ය අවස්ථා
  • ඔබ ලිංගිකව ක්‍රියාශීලී වන අතර යෝනි මාර්ගයේ දිග සහ දිශාව වැදගත් වන විට — යෝනි මාර්ගය හරහා කරන විකල්පවලට වඩා මෙම සැත්කමෙන් ඒ දෙකම වඩා හොඳින් රැකේ

ප්‍රතිලාභ

  • යෝනි මාර්ගයේ ඉහළ කොටස පහත් වීම සඳහා ඇති වඩාත්ම කල් පවතින සැත්කම — එකම ගැටලුව සඳහා යෝනි මාර්ගය හරහා කරන සැත්කම්වලට වඩා දිගු කලක් පවතී; කල් පැවැත්ම වැදගත් අවස්ථාවල මෙය තෝරන්නේ ඒ නිසාය.
  • යෝනි මාර්ගයේ ස්වභාවික දිග සහ දිශාව රැකේ, එබැවින් සංසර්ගයට සාමාන්‍යයෙන් බලපෑමක් නැත, නැතහොත් යහපත් වේ — යෝනි මාර්ගය හරහා කරන එසවීම්වලින් යෝනි මාර්ගය කෙටි වීම හෝ දිශාව වෙනස් වීම සිදු විය හැකි නිසා මෙය වාසියකි.
  • යෝනි මාර්ගය තුළ මෙෂ් නැත — මෙෂ් එක තිබෙන්නේ උදරය තුළ, උදර ආස්තරණයෙන් ආවරණය වී ඇති නිසා සංකූලතා ඇතිවීමට ඉඩ අවමයි.
  • විවෘත සැත්කමකට සාපේක්ෂව: කුඩා කැපුම්, අඩු වේදනාව, කෙටි රෝහල් ගතවීමක් සහ ඉක්මන් සුවය — විවෘත සැත්කමකින් සිදුකරන ආකාරයටම පහත්වීම ඔසවා තැබිය හැකියි.
  • අවශ්‍ය විට යෝනි බිත්තියක් පහත්වීම නැවත සකස් කිරීමද සමඟ එකම නිර්වින්දනයකින් කළ හැක.

විකල්ප

  • දැනට ප්‍රතිකාරයක් නොකර සිටීම — ඔබට කරදරයක් නොවන පහත් වීමකට සැත්කමක් අවශ්‍ය නොවේ.
  • යෝනි මාර්ගය තුල රඳවනයක් (pessary) යෙදීම — යෝනි මාර්ගය තුළ පැළඳ, සායනයේදී වරින් වර මාරු කරන ආධාරකයකි; බොහෝ කාන්තාවන්ට ඵලදායී වන අතර සැත්කමක්ම වළක්වා ගනී.
  • Pelvic floor (ශ්‍රෝණි පත්ලේ) ව්‍යායාම — රෝග ලක්ෂණවලට උපකාරී වේ; නමුත් දැනටමත් පහත් වී ඇති ඉහළ කොටස මේවායින් ඔසවන්නේ නැත.
  • මෙෂ් නොයොදන සැත්කම් — sacrospinous fixation සහ uterosacral ligament suspension සැත්කම්වලදී, සිරුරේ තබන දෙයක් වෙනුවට ඔබේම බන්ධනී යොදා ගනී; colpocleisis සැත්කමෙන් යෝනි මාර්ගය වසා දමයි — ලිංගිකව ක්‍රියාශීලී වීමට අපේක්ෂා නොකරන, දුර්වල සෞඛ්‍යයක් ඇති රෝගීන් සඳහා. මේවා දැන් කලාතුරකින් යොදන නමුත්, ස්ථිර ලෙස රැඳෙන දෙයක් සිරුරේ තැබීමට ඔබ අකමැති නම් සාකච්ඡා කළ හැක.
  • යෝනි මාර්ගයෙන් ගර්භාෂය ඉවත් කිරීම සහ ආධාරක සකස් කිරීම — ප්‍රධාන ගැටලුව ගර්භාෂය පහත්වීම නම්; අපගේ මාර්ගෝපදේශය බලන්න.

සැත්කමට සූදානම් වීම

සැත්කමට පෙර පූර්ව-ශල්‍ය පරීක්ෂාවක් සිදු කෙරේ: රුධිර පරීක්ෂණ, රුධිර පීඩනය, සහ ඔබේ ඖෂධ හා සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම, සමඟම සැත්කමෙන් ඔසවන ප්‍රමාණය සහ අවශ්‍ය සකස් කිරීම් සැලසුම් කිරීමට යෝනි මාර්ග පරීක්ෂාවක්. ඔබ ගන්නා සියලු ඖෂධ — විශේෂයෙන් ලේ තුනී ඖෂධ — සහ පෙර කළ සියලු සැත්කම්, විශේෂයෙන් ගර්භාෂය ඉවත් කිරීම සහ පෙර කළ පහත් වීමේ සැත්කම් ගැන කණ්ඩායමට කියන්න.

  • කැස්ස සහ මලබද්ධය: මේ දෙකෙන් කුමක් හෝ ඇත්නම් කලින්ම ප්‍රතිකාර කිරීමෙන් සකස් කිරීම ආරක්ෂා වේ.
  • යෝනි මාර්ගයට යොදන ඊස්ට්‍රජන් ක්‍රීම් ආර්තවහරනයෙන් පසු කාන්තාවන්ට, පටකවල තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා කලින් ලබා දිය හැක.
  • බඩවැල් පිරිසිදු කිරීමේ සූදානම (bowel preparation) මෙම සැත්කමට පෙර සිදු කරනු ලැබේ, මන්ද සැත්කම බඩවැල්වලට ආසන්නව සිදු වන බැවින්; ඒ සඳහා උපදෙස් ලබා දේ.
  • නිරාහාරව සිටීම: නිශ්චිත උපදෙස් ලබා දේ; සාමාන්‍යයෙන් පැය 6කට පෙර සිට ආහාර ගැනීමෙන් වැළකෙන්න, පැය 2කට පෙර දක්වා ජලය පානය කළ හැක.
  • නිවසේදී: මුල් සති දෙකට උදව් සූදානම් කරගන්න; බර එසවීමෙන් වළකින්න.

සැත්කම් දිනය

ඔබ රෝහලට ඇතුළත් වන්නේ සාමාන්‍යයෙන් සැත්කම සිදුකරන දිනයේදීය. කණ්ඩායම ඔබේ අනන්‍යතාව සහ සැලසුම් කළ සැත්කම තහවුරු කරන අතර, නිර්වින්දන වෛද්‍යවරයා සහ ශල්‍ය වෛද්‍යවරයා ඔබට හමුවේ. අවසන් ප්‍රශ්න ඇසීමට මේ වේලාවයි.

කැමැත්ත ලිපියට අත්සන් කිරීමට ඔබෙන් ඉල්ලනු ලැබේ. එහි සැත්කම, එහි අපේක්ෂිත ප්‍රතිලාභ සහ ඔබට අදාළ අවදානම් සටහන් වේ — ස්ථිර ලෙස රැඳෙන මෙෂ් එකක් යොදන බව, ගර්භාෂය තබා ගන්නේද, යෝනි බිත්තියක් සකස් කිරීමට සැලසුම් කර තිබේද, සහ ලැපරොස්කොපි ක්‍රමයෙන් සැත්කම ආරක්ෂිතව සම්පූර්ණ කළ නොහැකි වුවහොත් කුමක් කළ යුතුද යන්නද ඇතුළත්ව. මේ අවස්ථාවේ තවමත් ඔබට අදහස වෙනස් කළ හැක. ලේ කැටි ඇතිවීමේ අවදානම අඩු කිරීමට විශේෂ මේස් පලඳවන අතර, සැත්කම ආරම්භයේදී ප්‍රතිජීවක ලබා දේ.

සැත්කම අතරතුර

සැත්කම සිදු කරන්නේ සම්පූර්ණ නිර්වින්දනය යටතේ වන අතර ඔබ සම්පූර්ණයෙන් නිදා සිටින නිසා කිසිවක් නොදැනෙයි. මුත්‍රා බටයක් තබන අතර, යෝනි මාර්ගයේ ඉහළ කොටස නිවැරදිව හඳුනා ගැනීමට උපකාරී වන උපකරණයක් යෝනි මාර්ගය තුළ යොදා ගනී.

සැත්කම සිදු කිරීමට ඉඩක් සෑදීම සඳහා උදරය කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් සෙමෙන් පුරවනු ලැබේ. කුඩා කැපුම් හතරක් යොදා ගනී — කැමරාව සඳහා මිලිමීටර 10ක කැපුමක් සහ උපකරණ සඳහා මිලිමීටර 5ක කැපුම් තුනක් අවශ්‍ය වෙයි. ශල්‍ය වෛද්‍යවරයා යෝනි මාර්ගයේ ඉහළ කොටසේ ඉදිරි සහ පසුපස පැත්ත, සහ sacrum මත ඇති බන්ධනිය හොඳින් පෙනෙන ලෙස පටක කොටස් නිරාවරණය කරයි. මුත්‍රා නාලය සහ වැදගත් රුධිර නාල මෙම ප්‍රදේශයට ආසන්නව ඇති නිසා මෙය ඉතා ප්‍රවේශමෙන් සිදු කෙරේ. මෙෂ් එක යෝනි මාර්ගයේ ඉහළ කොටසට සවි කර, ඇදීමකින් තොරව ශ්‍රෝණිය දිගේ පිටුපසට යොදා, sacrum බන්ධනියට සවි කරන අතර එවිට යෝනි මාර්ගය එහි ස්වභාවික ස්ථානයට ඔසවනු ලැබේ. ඉන්පසු මෙෂ් එකේ මුළු දිග ආවරණය වන පරිදි උදර ආස්තරණය එය මතින් වසනු ලැබේ. යෝනි බිත්තියක් සකස් කිරීම අවශ්‍ය නම් එයද එම අවස්ථාවේම කෙරේ. අවසානයේ පිරවූ වායුව පිට කර, කුඩා කැපුම් දියවන මැහුම්වලින් වසනු ලැබේ.

ඇතැම් විට, ලැපරොස්කොපි ක්‍රමයෙන් ඉදිරියට යාම අනාරක්ෂිත වුවහොත් — පෙර සැත්කම්වලින් ඇති වූ තද ඇලීම් නිසා, හෝ sacrum ආසන්නයේ ලේ ගැලීමක් නිසා — ඔබේ ආරක්ෂාව සඳහා විවෘත සැත්කමක් ලෙස එය සම්පූර්ණ කරනු ලැබේ. ඉතා දුර්ලභ අවස්ථාවක එසවීම වෙනුවට වෙනත් ක්‍රමයක් යොදා ගැනීමට සිදු වේ; මෙම හැකියාව කැමැත්ත ලබා ගැනීමට පෙර ඔබ සමඟ සාකච්ඡා කෙරේ.

සැත්කමෙන් පසු

ඔබ අවදි වන විට සැත්කම සම්පූර්ණයි. උරහිස් කෙළවරේ වේදනාවක් දිනක් දෙකක් තිබීම සුලභය — එය සැත්කමේදී භාවිත කළ වායුව නිසා ඇති වන අතර තනිවම පහව යයි; ඇවිදීමෙන් එය අඩු වේ.

  • වේදනා නාශක: නියමිත වේලාවට ගන්නා වේදනා නාශක බොහෝ අපහසුතාව පාලනය කරයි; අවශ්‍ය නම් වඩා ප්‍රබල ඖෂධද ඇත.
  • මුත්‍රා බටය: සාමාන්‍යයෙන් සැත්කමෙන් පසු දින ඉවත් කරන අතර, ඉන්පසු ඔබ මුත්‍රා හොඳින් පහ කරන්නේද යන්න කණ්ඩායම සොයා බලයි.
  • ආහාර පාන: සාමාන්‍යයෙන් එදිනම, දියර වර්ගවලින් ආරම්භ කර. සැත්කම බඩවැල්වලට ආසන්නව සිදු වන නිසා මලපහ පිටවීම සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට දින කිහිපයක් ගතවිය හැක.
  • ඇවිදීම: එදිනම හෝ පසුදා උදෑසන ඇඳෙන් බැස ඇවිදිය හැක — ඉක්මන් ඇවිදීම සුවය ලැබීම වේගවත් කරන අතර ලේ කැටි ඇතිවීමෙන් ආරක්ෂා කරයි.
  • නිවසට යාම: සාමාන්‍යයෙන් සැත්කමෙන් පසු දින.

නිවසේදී සුවය ලැබීම

  • පළමු සතිය: විවේකීව ඔබේ එදිනෙදා කටයුතු වල යෙදෙන්න. තෙහෙට්ටුවක් දැනීම සාමාන්‍යයි.
  • දෙවන සතියේ සිට: ක්‍රමයෙන් දෛනික වැඩ කටයුතු වැඩි කරන්න.
  • බර එසවීම සහ තැටමීම: මෙෂ් එක ඔබේ පටක සමඟ එකට බැඳෙන තුරු, සති 4–6ක් මේවායින් වළකින්න. මලබද්ධයට වහාම ප්‍රතිකාර ගන්න.
  • රිය පැදවීම: පැකිළීමකින් තොරව හදිසි බ්‍රේක් කිරීමක් කළ හැකි වූ විට — බොහෝ විට සති 2ක් පමණ.
  • ලිංගික සංසර්ගය: සති 6ක් පමණ ගත වූ පසු, සුවවීම සම්පූර්ණ වූ පසු.
  • ව්‍යායාම: මුලින් ඇවිදීම; තදබල ව්‍යායාම සහ බර වැඩ සති 6ක් පමණ ගත වූ පසු.
  • Pelvic floor (ශ්‍රෝණි පත්ලේ) ව්‍යායාම: සුවවීම ඉඩ දෙන පසු නැවත ආරම්භ කරන්න.
  • දිගුකාලීනව: නිතර බර එසවීමෙන් වැළකීම සහ දිගුකාලීන කැස්සක් හෝ මලබද්ධය ප්‍රතිකාර කිරීම, ඉදිරි වර්ෂ ගණනාවකට මෙම සකස් කිරීම ආරක්ෂා කරයි.

මෙම උපදෙස් ලැපරොස්කොපි සැත්කම සඳහා සාමාන්‍ය කරුණු පමණකි; ඔබට පුද්ගලිකව ලැබෙන උපදෙස් ප්‍රමුඛව සලකන්න.

අවදානම් සහ සංකූලතා

සෑම සැත්කමකටම අවදානමක් ඇත. පහත අගයන් ප්‍රකාශිත එක්සත් රාජධානියේ මාර්ගෝපදේශවල සාමාන්‍ය අගයන්ය; ඔබේ පුද්ගලික අවදානම ඔබේ වයස, බර, අනෙකුත් රෝග තත්ත්ව සහ පෙර සැත්කම් මත රඳා පවතී.

අපේක්ෂිත, තාවකාලික බලපෑම්

  • මුල් දින කිහිපයේ වේදනාව සහ තෙහෙට්ටුව; වායුව නිසා උරහිස් කෙළවරේ වේදනාව
  • කුඩා කැපුම් වටා තැලීම්
  • දින කිහිපයක් මලපහ පිටවීම මන්දගාමී වීම සහ උදරය පිම්බීම

සංකූලතා

  • මෙෂ් නිරාවරණ වීම (erosion) — මෙෂ් එක පටක හරහා යෝනි මාර්ගයට පැමිණීම; ඉන් ශ්‍රාවයක්, ලේ ගැලීමක් හෝ අපහසුතාවක් ඇති විය හැක. උදරය හරහා යොදන විට එය දුර්ලභ නමුත්, මෙෂ් යෙදීමට විශේෂිත සංකූලතාව මෙයයි; සිදු වූ විට ප්‍රතිකාර කරන අතර ඇතැම් විට මෙෂ් එකේ කොටසක් ඉවත් කිරීමට සිදු වේ.
  • ලේ ගැලීම — sacrum මත ඇති නහර වේගයෙන් ලේ ගැලීමට පුළුවන; ඇතැම් විට රුධිර පාරවිලයනයක් අවශ්‍ය වේ (දුර්ලභ සංකූලතාවකි).
  • මුත්‍රාශයට, බඩවැලට හෝ මුත්‍රා නාලවලට හානි වීම — හඳුනාගත් හානි එම අවස්ථාවේම පිළිසකර කෙරේ (දුර්ලභ).
  • ආසාදනය — මුත්‍රාවල හෝ තුවාලවල; සැත්කම අතරතුර ප්‍රතිජීවක දෙන අතර පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි තත්ත්වයන්ය.
  • ලේ කැටි ගැසීම — කකුලේ හෝ පෙනහළුවල (VTE); වැළැක්වීමේ ක්‍රියාමාර්ග සාමාන්‍යයෙන් ගනු ලැබේ (දුර්ලභ සංකූලතාවකි).
  • අලුතින් හෝ වඩාත් තදින් මුත්‍රා රෝග ලක්ෂණ — මුත්‍රා ආවේගය, නැතහොත් පහත් වීම නිවැරදි කළ පසු මතු වන මුත්‍රා කාන්දු වීමක් (දුර්ලභ සංකූලතාවකි).
  • මලබද්ධය හෝ මලපහ පිට කිරීමේ අපහසුතාව — සැත්කම බඩවැල් හා මහාන්ත්‍රයට ආසන්නව සිදු වන නිසා (දුර්ලභ සංකූලතාවකි).
  • පිටේ හෝ තට්ටම් ප්‍රදේශයේ වේදනාව — මෙෂ් එක sacrum ට සවි කර ඇති ස්ථානයේ (දුර්ලභ සංකූලතාවකි).
  • යෝනි මාර්ගයේ වෙනත් කොටසක පහත් වීමක් — ඉහළ කොටසට ආධාරකය දීමෙන් පසු බිත්තියක එසීමක් පසුව මතු විය හැක (දුර්ලභ සංකූලතාවකි).
  • ඉහළ කොටස නැවත පහත් වීම — යෝනි මාර්ගය හරහා කරන විකල්පවලට වඩා ඉඩ අඩු නමුත්, සිදු විය හැක.
  • විවෘත සැත්කමකට හැරවීම — ආරක්ෂාව සඳහා (දුර්ලභ සංකූලතාවකි).
  • නිර්වින්දන අවදානම් — බරපතළ නිර්වින්දන සංකූලතා දුර්ලභය.

උදව් ලබාගත යුත්තේ කවදාද

නිවසට ගිය පසු, පහත ලක්ෂණ ඇතිවුවහොත් එදිනම වෛද්‍ය උපදෙස් ලබා ගන්න:

  • උණ (38 °C හෝ ඊට වැඩි) හෝ වඩ වඩාත් අසනීප ගතියක් සිරුරට දැනීම
  • වේදනා නාශකවලින් පාලනය නොවන, වැඩිවන උදර වේදනාව
  • නොනවතින වමනය, හෝ මලපහ පිට නොවී උදරය ඉදිමී තදවීම
  • යෝනි මාර්ගයෙන් අධික රුධිර වහනය, හෝ දුර්ගන්ධ සහිත යෝනි ශ්‍රාවයක්
  • මුත්‍රා පහ කළ නොහැකි වීම, හෝ මුත්‍රා කිරීමේදී දැවිල්ල
  • රතු වන, ඉදිමෙන, උණුසුම් වන හෝ දියර කාන්දු වන තුවාලයක්
  • පාදයක් වේදනාකාරී වීම හෝ ඉදිමීම

දිගු කාලීනව, අලුතින් ඇති වන යෝනි ශ්‍රාවයක්, ලේ ගැලීමක් හෝ සංසර්ගයේදී අපහසුතාවක් ගැන ඔබේ වෛද්‍යවරයාට කියන්න — මේවා මෙෂ් නිරාවරණ වීමේ පළමු ලකුණු විය හැකි අතර, ඊට ප්‍රතිකාර කළ හැක.

පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, ලේ සමඟ කැස්ස, හෝ ක්ලාන්ත වීම ඇත්නම් වහාම ළඟම ඇති රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට යන්න — මේවා පෙනහළුවල ලේ කැටියක ලක්ෂණ විය හැකි අතර හදිසි අවස්ථාවකි.

මූලාශ්‍ර සහ සමාලෝචනය

මෙම පිටුව පහත ප්‍රකාශිත මාර්ගෝපදේශවලට අනුව සකස් කරන ලදී. මූලාශ්‍ර ඉංග්‍රීසියෙන් පවතී.

  1. National Institute for Health and Care Excellence. Urinary incontinence and pelvic organ prolapse in women: management. NICE guideline NG123. Available from: https://www.nice.org.uk/guidance/ng123 [last checked 29 July 2026].
  2. Royal College of Obstetricians and Gynaecologists. Consent advice — browse all guidance. London: RCOG. Available from: https://www.rcog.org.uk/guidance/browse-all-guidance/consent-advice/ [last checked 29 July 2026].
  3. National Health Service (UK). Pelvic organ prolapse — treatment. Available from: https://www.nhs.uk/conditions/pelvic-organ-prolapse/treatment/ [last checked 29 July 2026].

අපගේම සායනවලින් රෝගී තොරතුරු

මෙම මාතෘකාව ගැන සුගබි හෝ vog.lk ලිපියක් තවම නොමැත. අදාළ කියවීම්:

  1. සුගබි සායනය, රාගම. යෝනි බිත්තිය පහත් වීම නැවත සැකසීම. https://sugabi.lk/surgery-guide/si/anterior-and-posterior-repair/
අන්තර්ගත හිමිකරු
සුගබි සායනය, රාගම
වෛද්‍ය සමාලෝචක
විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට, MBBS, MD, DRCOG, DOWH, MRCPI, FRCOG
අනුවාදය
1.0-si
ප්‍රථම ප්‍රකාශනය
2026 අගෝස්තු 5
අවසන් සමාලෝචනය
2026 අගෝස්තු 5 — විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඊළඟ සමාලෝචනය
2027 අගෝස්තු
තත්ත්වය
ප්‍රකාශිතයි — වෛද්‍ය සමාලෝචනය සම්පූර්ණයි