සාරාංශය
මෙම සැත්කමේදී ගර්භාෂය ඉවත් කරන්නේ යෝනි මාර්ගය හරහාය — උදරයේ කිසිදු කැපුමක් යොදන්නේ නැත. බොහෝ විට මෙය තෝරා ගන්නේ ගර්භාෂය පහත්වී ඇති (prolapse) විට වන අතර, එම අවස්ථාවේම දුර්වල වූ ශ්‍රෝණි පත්ලේ (pelvic floor) ආධාරක නැවත සකස් කිරීමද සිදු කෙරේ.
- උදරයේ කිසිදු කැපුමක් යොදන්නේ නැති නිසා උදරයේ කැළැලක් නොමැත.
- සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමදී මෙන් කොඳු ඇට පෙළට දෙන නිර්වින්දනය (spinal) යටතේ සිදු කෙරේ; එය කළ නොහැකි හෝ නුසුදුසු අවස්ථාවලදී පමණක් සම්පූර්ණ නිර්වින්දනය භාවිත කෙරේ.
- සැත්කමට සාමාන්‍යයෙන් පැයක පමණ කාලයක් ගතවේ.
- විශේෂ හේතුවක් නැත්නම් ඩිම්බ කෝෂ ඉතිරි කරනු ලැබේ; ඔසප් වීම ස්ථිරව නතර වන අතර ඉන්පසු ගැබ් ගැනීමක් සිදු නොවේ.
- විවෘත සැත්කමකට වඩා ඉක්මනින් සුවය ලැබෙයි; නමුත් ඇතුළත මැහුම් සුව වීමට කාලයක් අවශ්‍ය නිසා සති 4–6ක් බර එසවීමෙන්, ලිංගික එක්වීමෙන් සහ තැටමීමෙන් (straining) වැළකිය යුතුය.
සැත්කම ගැන
මෙම සැත්කම සම්පූර්ණයෙන්ම සිදු කරන්නේ යෝනි මාර්ගය හරහාය. ගැබ්ගෙල සහ ගර්භාෂය ඊට ආධාරක වන පටක (ligaments) සහ රුධිර නාලවලින් වෙන් කර, යෝනි මාර්ගය හරහා ඉවත් කරනු ලැබේ. ඉන්පසු යෝනි මාර්ගයේ ඉහළ කොටස (vault) දියවන මැහුම්වලින් වසන අතර, එම බන්ධනී ම එහි ආධාරකයක ලෙස යොදා ගෙන නිසි ස්ථානයේ රඳවයි.
ශ්‍රෝණි පත්ල එම අවස්ථාවේම විවෘත වන නිසා, බොහෝ විට මෙය පහත සැත්කම් සමඟ එකට සිදු කෙරේ:
- යෝනි මාර්ගයේ ඉදිරිපස බිත්තිය සකස් කිරීම (anterior repair) — මුත්‍රාශය ඉදිරියට නෙරා ඇති විට, යෝනි මාර්ගය සහ මුත්‍රාශය අතර ආධාරකය තද කිරීම
- යෝනි මාර්ගයේ පසුපස බිත්තිය සකස් කිරීම (posterior repair) — බඩවැල් යෝනි මාර්ගයට නෙරා ඇති විට, පිටුපසින් එසේම කිරීම
- ඉහළ කොටසේ ආධාරකය — යෝනි මාර්ගයේ ඉහළ කොටස ඉහළට රඳවා තබන අමතර මැහුම්, එමගින් පසු කලෙක එය නැවත පහත් වීමේ ඉඩ අඩු කිරීම. එය අවශ්‍ය අවස්ථාවලදී sacrospinous fixation ලෙස සිදු කරයි — ශ්‍රෝණියේ ගැඹුරින් ඇති ශක්තිමත් බන්ධනියකට (sacrospinous ligament) එය සවි කිරීමයි.
ඔබට මේවායින් කුමක් අවශ්‍යද යන්න පරීක්ෂාවෙන් තීරණය කරන අතර, සැත්කමට පෙර ඔබ සමඟ සාකච්ඡා කෙරේ.
ගර්භාෂය ඉවත් කිරීමට මාර්ග තුනක් ඇත — යෝනි මාර්ගය, ලැපරොස්කොපි ක්‍රමය සහ විවෘත සැත්කම. ගර්භාෂය ඉවත් කිරීමට එම ක්‍රම සියල්ලම සුදුසු වන විට, ප්‍රකාශිත මාර්ගෝපදේශ මුලින්ම නිර්දේශ කරන්නේ යෝනි මාර්ගය හරහා එය සිදු කිරීමයි, එමගින් උදරයේ කැපුම් යෙදීම සම්පූර්ණයෙන්ම මගහැරිය හැකි නිසා; ඊළඟට සුදුසුම ක්‍රමය වන්නේ ලැපරොස්කොපි ක්‍රමයයි. එම සැසඳීම සඳහා අපගේ ලැපරොස්කොපි ක්‍රමයට ගර්භාෂය ඉවත් කිරීමේ මාර්ගෝපදේශය බලන්න.
සිදු කරන්නේ ඇයි
ගර්භාෂය ඉවත් කිරීම අවශ්‍ය වූ විට, යෝනි මාර්ගය සුදුසු නම් මෙම සැත්කම සලකා බලනු ලැබේ. එය ගර්භාෂයේ ප්‍රමාණය සහ ඇලීම් නොමැති බව, යෝනි මාර්ගයේ පුළුල් බව, සහ ඔබේ පෙර සැත්කම් මත රඳා පවතී. සාමාන්‍ය ලෙස, සති 14ක ගැබිනි ගර්භාෂයක ප්‍රමාණයට වඩා විශාල වූ විට ලැපරොස්කොපි ක්‍රමය වඩා සුදුසුය — laparoscopy assisted vaginal hysterectomy (LAVH) හෝ total laparoscopic hysterectomy (TLH) ලෙස. මෙම සැත්කම සිදු කරන සුලභ හේතු:
- ගර්භාෂය පහත් වීම (prolapse) — මෙය වඩාත් සුලභ හේතුවයි: යමක් පහළට එන ගතියක්, ඇදෙන ගතියක් හෝ බර ගතියක්, ඇතැම් විට අතට දැනෙන හෝ පෙනෙන ගෙඩියක්
- ඖෂධවලින්, හෝමෝන කොයිල් එකෙන් හෝ සාමාන්‍ය ප්‍රතිකාරවලින් සමනය නොවූ අධික රුධිර වහනය හෝ වේදනාකාරී ඔසප් වීම
- ෆයිබ්‍රොයිඩ් ගෙඩි — ගර්භාෂය සති 14ක ප්‍රමාණයට වඩා විශාල නොවූ විට
- දිගටම පවතින අසාමාන්‍ය ලේ ගැලීම, හෝ ගර්භාෂයේ ඇතුලත බිත්තියේ පිළිකා නොවන පූර්ව වෙනස්කම්
මෙම සැත්කමෙන් පසු ඔසප් වීම ස්ථිරව නතර වන අතර ගැබ් ගැනීමක් සිදු නොවේ — එබැවින් එය නිර්දේශ කරන්නේ තවදුරටත් දරු පිළිසිඳ ගැනීමක් අපේක්ෂා නොකරන විටයි.
ප්‍රතිලාභ
- උදරයේ කැපුම් නැත. උදර බිත්තියේ කිසිම කැපුමක් යොදන්නේ නැති නිසා උදරයේ කැළැලක් ඇති වන්නේ නැත, තුවාල වේදනාව අඩුය, සහ පසුව තුවාල ස්ථානයේ හර්නියාවක් ඇතිවීමේ අවදානමක් නැත.
- පහත්වීමේ රෝග ලක්ෂණද එකවර නිවැරදි වේ. ගර්භාෂය ඉවත් කර ආධාරක සකස් කළ පසු ඇදෙන ගතිය, බර ගතිය හෝ පහතට නෙරා ඒම පහව යයි.
- සම්පූර්ණ නිර්වින්දනයක් අවශ්‍ය නැත. සාමාන්‍යයෙන් කොඳු ඇට පෙළට දෙන නිර්වින්දනය ප්‍රමාණවත් — සම්පූර්ණ නිර්වින්දනය අවදානම් වන අවස්ථාවලදී මෙය වැදගත්.
- අධික ලේ ගැලීම සම්පූර්ණයෙන් නතර වේ — ඔසප් වීම ස්ථිරව නවතී.
- විවෘත සැත්කමකට සාපේක්ෂව: රෝහල් ගතව සිටින කාලය කෙටියි, සහ සාමාන්‍ය ජීවිතයට ඉක්මනින් ආපසු යා හැක.
විකල්ප
- දැනට සැත්කමක් නොකර සිටීම. කරදරයක් නොවන සුළු පහත් වීමකට සැත්කමක් අවශ්‍ය නොවේ.
- ශ්‍රෝණි පත්ලේ ව්‍යායාම (physiotherapy) — නිසි උපදෙස් යටතේ කරන ශ්‍රෝණි පත්ලේ මාංශ පේශි ව්‍යායාම සුළු හා මධ්‍යම බැසීමට සහ එහි රෝග ලක්ෂණවලට උපකාරී වේ.
- යෝනි මාර්ගය තුල රඳවනයක් (pessary) යෙදීම — පහත්වීම ඉහළට ඔසවා රඳවා තබන ආධාරකයක් යෝනි මාර්ගය තුළ තැබීම; සායනයේදී වරින් වර මෙය මාරු කරනු ලැබේ. සැත්කමක් වළක්වා ගැනීම ඔබේ තත්වයට වඩා සුදුසු විට හෝ ඔබ සැත්කමකට කැමති නැති විට භාවිතා කළ හැකි විකල්ප ක්‍රමයකි.
- ගර්භාෂය තබාගෙන ආධාරක සකස් කිරීම (hysteropexy) — ආධාරක සකස් කර ගර්භාෂය ඉහළට එසවා තබා ගැනීම; නැවත ගැබ් ගැනීමක් අපේක්ෂා කරන කාන්තාවන්ට මෙය සුදුසුයි.
- පහත්වීමක් නොමැතිව ලේ ගැලීම පමණක් ගැටලුව නම් — හෝමෝන කොයිල් (LNG-IUS), ඖෂධ, ගර්භාෂ ආස්තරණය ඉවත් කිරීම (ablation), හෝ ෆයිබ්‍රොයිඩ්/පොලිප් ඉවත් කිරීම.
- වෙනත් මාර්ගයකින් ගර්භාෂය ඉවත් කිරීම — යෝනි මාර්ගය සුදුසු නොවන විට ලැපරොස්කොපි හෝ විවෘත සැත්කම.
සැත්කමට සූදානම් වීම
සැත්කමට පෙර පූර්ව-ශල්‍ය පරීක්ෂාවක් සිදු කෙරේ: රුධිර පරීක්ෂණ, රුධිර පීඩනය, සහ ඔබේ ඖෂධ හා සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම. යෝනි මාර්ග පරීක්ෂාවෙන් සුදුසු මාර්ගය සහ අවශ්‍ය සකස් කිරීම් තීරණය කෙරේ. ඔබ ගන්නා සියලු ඖෂධ — විශේෂයෙන් ලේ තුනී කරන ඒවා — සහ පෙර සැත්කම් හෝ නිර්වින්දන ගැටලු ගැන කණ්ඩායමට කියන්න.
- ගැබ්ගෙල පරීක්ෂාව (pap smear) සහ ලේ ගැලීම සම්බන්ධ පරීක්ෂණ සැත්කමට පෙර යාවත්කාලීනව සිදු කර අවසන් කර තිබිය යුතුය.
- දුම්පානය: සැත්කමට සති කිහිපයකට පෙර හෝ නැවතීමෙන් පෙනහළු හා තුවාල සුවවීමේ සංකූලතා අඩු වේ. දිගුකාලීන කැස්සක් හෝ මලපහ පිටවීමේ අපහසුතාවක් සැත්කමට පෙර ප්‍රතිකාර කිරීමද මැහුම් ආරක්ෂා කරයි.
- නිරාහාරව සිටීම: නිශ්චිත උපදෙස් ලබා දේ; සාමාන්‍යයෙන් පැය 6කට පෙර සිට ආහාර ගැනීමෙන් වැළකෙන්න, පැය 2කට පෙර දක්වා ජලය පානය කළ හැක.
- නිවසේදී: මුල් සති දෙකට උදව් සූදානම් කරගන්න; බර එසවීමෙන් වැළකිය යුතුය — ජලය, තෙත් රෙදි සහ දරුවන් ඔසවා ගැනීමද ඊට ඇතුළත්ය.
සැත්කම් දිනය
ඔබ රෝහලට ඇතුළත් වන්නේ සාමාන්‍යයෙන් සැත්කම සිදුකරන දිනයේදීය. කණ්ඩායම ඔබේ අනන්‍යතාව සහ සැලසුම් කළ සැත්කම තහවුරු කරන අතර, නිර්වින්දන වෛද්‍යවරයා සහ ශල්‍ය වෛද්‍යවරයා ඔබට හමුවේ. අවසන් ප්‍රශ්න ඇසීමට මේ වේලාවයි — කුඩා ප්‍රශ්නයක්වත් අසන්න පසුබට නොවන්න.
කැමැත්ත ලිපියට අත්සන් කිරීමට ඔබෙන් ඉල්ලනු ලැබේ. එහි සැත්කම, එහි අපේක්ෂිත ප්‍රතිලාභ සහ ඔබට අදාළ අවදානම් සටහන් වේ — කුමන සකස් කිරීම් සැලසුම් කර ඇත්ද, ඩිම්බ කෝෂ ඉතිරි කරනවාද, සහ අනපේක්ෂිත දෙයක් හමු වුවහොත් කුමක් කළ යුතුද යන්නද ඇතුළත්ව. මේ අවස්ථාවේ තවමත් ඔබට අදහස වෙනස් කළ හැක. ලේ කැටි ඇතිවීමේ අවදානම අඩු කිරීමට සාමාන්‍යයෙන් විශේෂ මේස් (compression stockings) පලඳවනු ලැබේ.
සැත්කම අතරතුර
සැත්කම සාමාන්‍යයෙන් සිදු කරන්නේ කොඳු ඇට පෙළට දෙන නිර්වින්දනය යටතේය — කොඳු ඇට පෙළ අසලට දෙන එන්නතකින් නාභියෙන් පහළ කොටස හිරිවැටීමට ලක් කරයි; එය කළ නොහැකි හෝ නුසුදුසු අවස්ථාවලදී පමණක් සම්පූර්ණ නිර්වින්දනය භාවිත කෙරේ. කෙසේ වුවත් ඔබට කිසිවක් නොදැනේ. ඔබේ දෙපා ආධාරක මත තබා, මුත්‍රාශය හිස් කරනු ලැබේ.
යෝනි මාර්ගය හරහා සැත්කම සිදු කරන අතර, ශල්‍ය වෛද්‍යවරයා ගැබ්ගෙල වටා කැපුමක් යොදා, ඉදිරියෙන් මුත්‍රාශය සහ පිටුපසින් බඩවැල් වෙන් කර, ආධාරක බන්ධනී සහ රුධිර නාල පිළිවෙලින් වෙන් කර ආරක්ෂිත කරයි. ඉන්පසු ගර්භාෂය සහ ගැබ්ගෙල යෝනි මාර්ගය තුලින්ම ඉවත් කරනු ලැබේ. ආධාරක බන්ධනී යෝනි මාර්ගයේ ඉහළ කොටසට සවි කර එයට ආධාරකයක් ලබා දෙන අතර, එය දියවන මැහුම්වලින් වසනු ලැබේ. අවශ්‍ය ඉදිරි හෝ පසුපස යෝනි මාර්ග බිත්ති සකස් කිරීම්ද එම අවස්ථාවේම සිදු කෙරේ. සැත්කම අවසානයේ මුත්‍රා බටයක් තබනු ලැබේ; යෝනි මාර්ගයේ පැක් (pack) එකක් යොදන්නේ නැත.
සැත්කමට සාමාන්‍යයෙන් පැයක් පමණ ගතවේ; සකස් කිරීම්ද කරන විට ඊට වඩා වැඩි කාලයක් ගත වන්න පුළුවන්. ඉතා දුර්ලභ අවස්ථාවක, ගර්භාෂය යෝනි මාර්ගයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට තරම් චලනය නොවන බව පෙනුනහොත්, ඔබේ ආරක්ෂාව සඳහා උදරය හරහා සැත්කම සම්පූර්ණ කිරීමට සිදුවිය හැකියි. සුදුසු මාර්ගය කලින්ම ප්‍රවේශමෙන් තෝරා ගන්නා නිසා, ප්‍රායෝගිකව මෙය සිදු වන්නේ ඉතාම කලාතුරකිනි.
සැත්කමෙන් පසු
ඔබ අවදි වන විට සැත්කම සම්පූර්ණයි. උදරයේ තුවාලයක් නැති නිසා දැනෙන්නේ තුවාල වේදනාවක් නොව, යටි බඩේ ගැඹුරු කැක්කුමකි.
- වේදනා නාශක: නියමිත වේලාවට ගන්නා සරල වේදනා නාශක බොහෝ අපහසුතාව පාලනය කරයි; අවශ්‍ය නම් වඩා ප්‍රබල ඖෂධද ඇත.
- මුත්‍රා බටය: යෝනි මාර්ගයේ පැක් එකක් යොදන්නේ නැත. ඔබ හොඳින් ඇවිදීමට පුළුවන් වන විට මුත්‍රා බටය ඉවත් කෙරේ — සිසේරියන් සැත්කමකින් පසු මෙන්, සාමාන්‍යයෙන් පැය 12ක් ඇතුළත. ඇතැම් විට මුත්‍රාශය නැවත ක්‍රියාත්මක වීමට ටික කලක් ගත වන නිසා මුත්‍රා බටය තව ටික කාලයක් තබා ගැනීම අවශ්‍ය විය හැකියි; එය සමනය වේ.
- ආහාර පාන: සාමාන්‍යයෙන් එදිනම, දියර වර්ගවලින් ආරම්භ කර සාමාන්‍ය ආහාර වේලක් ලබා ගත හැකියි.
- ඇවිදීම: එදිනම හෝ පසුදා උදෑසන ඇඳෙන් බැස ඇවිදිය හැක — ඉක්මන් ඇවිදීම සුවය ලැබීම වේගවත් කරන අතර ලේ කැටි ඇතිවීමෙන් ආරක්ෂා කරයි.
- ලේ ගැලීම: ඇතුළත මැහුම් දිය වන විට සති කිහිපයක් සුළු යෝනි ලේ ගැලීමක් සහ දුඹුරු පැහැති ශ්‍රාවයක් තිබීම සාමාන්‍යය.
- නිවසට යාම: සාමාන්‍යයෙන් සැත්කමෙන් පසු දින; අධික වේදනාවක් හෝ වෙනත් ගැටළුවක් ඇත්නම් ඇතැම් විට දෙවන දිනයේ.
නිවසේදී සුවය ලැබීම
- පළමු සතිය: විවේකය සමඟ සරල ක්‍රියාකාරකම් — නිවස තුළ කෙටි ඇවිදීම් සහ සැහැල්ලු ගෘහ කටයුතු. මේ කාලයේ තෙහෙට්ටුවක් දැනීම සාමාන්‍යයි.
- දෙවන සතියේ සිට: ක්‍රමයෙන් ක්‍රියාකාරකම් වැඩි කරන්න; බොහෝ කාන්තාවන් සාමාන්‍ය එදිනෙදා කටයුතු කර ගනී.
- බර එසවීම සහ බර ඇල්ලීම: මැහුම් සහ යෝනි මාර්ගයේ ඉහළ කොටස හොඳින් සුව වීමට සති 4–6ක් මේවායින් වළකින්න. මලපහ පිටවීමේ අපහසුතාවක් ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න — බර ඇල්ලීම මැහුම්වලට හානිකරයි.
- රිය පැදවීම: පැකිළීමකින් තොරව හදිසි බ්‍රේක් කිරීමක් කළ හැකි වූ විට — බොහෝ විට සති 2ක් පමණ.
- ලිංගික සංසර්ගය: සති 6ක් පමණ ගත වූ පසු, ලේ ගැලීම හා ශ්‍රාවය නතර වී ඉහළ කොටස සුව වූ පසු.
- නෑම: සාමාන්‍ය පරිදි ෂවර් යොදා නෑමට හැක; ශ්‍රාවය නතර වන තුරු පිහිනීමෙන් සහ ජලයේ ගිලී නෑමෙන් වළකින්න.
- ඔසප් වීම සහ දරු ඵල: ඔසප් වීම ස්ථිරව නතර වන අතර ගැබ් ගැනීමක් සිදු නොවේ. ඩිම්බ කෝෂ ඉතිරි කර ඇත්නම් ඒවා ක්‍රියාත්මක වන නිසා සැත්කමෙන් ආර්තවහරනය (menopause) ඇති නොවේ. ගැබ්ගෙල ඉවත් කළ පසු ගැබ්ගෙල පරීක්ෂාව (pap smear) අවශ්‍ය නොවේ.
- ශ්‍රෝණි පත්ලේ ව්‍යායාම: සුවවීමට කාලයක් ලබාදීමෙන් පසු, මැහුම් දිගුකාලීනව ආරක්ෂා කර ගැනීමට සාමාන්‍යයෙන් නිර්දේශ කෙරේ.
මෙම උපදෙස් සාමාන්‍ය කරුණු පමණකි; ඔබට පුද්ගලිකව ලැබෙන උපදෙස් ප්‍රමුඛව සලකන්න.
අවදානම් සහ සංකූලතා
සෑම සැත්කමකටම අවදානමක් ඇත. පහත අගයන් ප්‍රකාශිත එක්සත් රාජධානියේ (RCOG) මාර්ගෝපදේශවල සාමාන්‍ය අගයන්ය; ඔබේ පුද්ගලික අවදානම ඔබේ වයස, බර, අනෙකුත් රෝග තත්ත්ව, පෙර සැත්කම් සහ කරන සකස් කිරීම් මත රඳා පවතින අතර, එය ඔබ සමඟ සාකච්ඡා කෙරේ.
අපේක්ෂිත, තාවකාලික බලපෑම්
- මුල් දින කිහිපයේ යටි බඩේ ඇතුලතින් දැනෙන වේදනාව සහ තෙහෙට්ටුව
- මැහුම් දිය වන විට සති කිහිපයක් යෝනි මාර්ගයෙන් සුළු ලේ ගැලීම සහ දුඹුරු ශ්‍රාවයක් පිටවීම
- මුත්‍රා බටය ඉවත් කළ පසු මුත්‍රා පහ කිරීම ආරම්භ කිරීමේ සුළු අපහසුතාවක්
සංකූලතා
- ලේ ගැලීම — රුධිර පාරවිලයනයක් අවශ්‍ය තරම් (සුලභ නොවේ), හෝ ඉහළ කොටසේ ලේ එකතු වී එය ඉවත් කිරීමට අවශ්‍ය වීම (සුලභ නොවේ).
- ආසාදනය — මුත්‍රාවල, පෙනහළුවල හෝ යෝනි මාර්ගයේ ඉහළ කොටසේ; මෙය අඩු කිරීමට සැත්කම අතරතුර ප්‍රතිජීවක දෙනු ලැබේ, සහ පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි තත්ත්වයන්ය.
- මුත්‍රාශයට, බඩවැලට හෝ මුත්‍රා නාලවලට හානි වීම — හඳුනාගත් හානි පිළිසකර කෙරේ (දුර්ලභ).
- ලේ කැටි ගැසීම — කකුලේ හෝ පෙනහළුවල (VTE); වැළැක්වීමේ ක්‍රියාමාර්ග සාමාන්‍යයෙන් ගනු ලැබේ (සුලභ නොවේ).
- මුත්‍රා පහ කිරීමේ අපහසුතාව — බටය තව ටිකක් තැබීමට අවශ්‍ය වීම, හෝ පසුව මුත්‍රා ආසාදනයක් (සුලභ නොවේ).
- ඉහළ කොටසේ මැහුම් ගැටලුවක් — දිගටම පවතින ශ්‍රාවයක් හෝ සුළු ලේ පැල්ලමක්; සායනයේදී පහසුවෙන් ප්‍රතිකාර කෙරේ (සුලභ නොවේ).
- උදරය හරහා සැත්කම සම්පූර්ණ කිරීම — ආරක්ෂාව සඳහා (ඉතා දුර්ලභ).
- පසු කලෙක යෝනි මාර්ගයේ ඉහළ කොටස බැසීම — ආධාරක නැවත දුර්වල විය හැක; ඇතැම් විට තවත් ප්‍රතිකාරයක් අවශ්‍ය වේ (අසුලභ).
- මුත්‍රාශයේ, බඩවැල්වල හෝ ලිංගික ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් — බොහෝ කාන්තාවන්ට දැනෙන්නේ දියුණුවක්; නමුත් ඇතැම් විට රෝග ලක්ෂණ දිගටම පැවතිය හැක හෝ අලුතින් ඇති විය හැක. මෙය සැත්කමට පෙර සාකච්ඡාවේ කොටසකි.
- නිර්වින්දන අවදානම් — බරපතළ නිර්වින්දන සංකූලතා දුර්ලභය.
උදව් ලබාගත යුත්තේ කවදාද
නිවසට ගිය පසු, පහත ලක්ෂණ ඇතිවුවහොත් එදිනම වෛද්‍ය උපදෙස් ලබා ගන්න:
- යෝනි මාර්ගයෙන් අධික රුධිර වහනය — තද රතු පැහැති, හෝ පැයක් තුළ පෑඩ් එකක් තෙමෙන පරිදි
- දුර්ගන්ධ සහිත යෝනි ශ්‍රාවයක්
- උණ (38 °C හෝ ඊට වැඩි) හෝ වඩ වඩාත් අසනීප ගතියක් සිරුරට දැනීම
- වේදනා නාශකවලින් පාලනය නොවන, දිගටම වැඩිවන යටි බඩේ හෝ උදරයේ ඇතුලත වේදනාව
- මුත්‍රා කිරීමේදී දැවිල්ල, හෝ මුත්‍රා කළ නොහැකි වීම
- පාදයක් වේදනාකාරී වීම හෝ ඉදිමීම
පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, ලේ සමඟ කැස්ස, හෝ ක්ලාන්ත වීම ඇත්නම් වහාම ළඟම ඇති රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට යන්න — මේවා පෙනහළුවල ලේ කැටියක ලක්ෂණ විය හැකි අතර හදිසි අවස්ථාවකි.
කැමැත්ත පිළිබඳ සාකච්ඡාවට සූදානම් වීම
කැමැත්ත යනු සංවාදයකි — අත්සනක් පමණක් නොවේ. සැත්කමට එකඟ වීමට පෙර, මෙම මාර්ගය ඔබට නිර්දේශ කරන්නේ ඇයි, කුමන සකස් කිරීම් සැලසුම් කර ඇත්ද, සහ ඔබේ තත්ත්වයේදී වැදගත්ම අවදානම් මොනවාද යන්න ඔබට වැටහෙන බව දැනිය යුතුය. පහත ලැයිස්තුව ආරම්භයක් පමණි — මුද්‍රණය කර සායනයට රැගෙන එන්න.
මෙම ලැයිස්තුව මුද්‍රණය කර නිවසේදී හෝ සායනයේදී ලිවීම සඳහාය. මෙම වෙබ් අඩවියේ කිසිවක් ඔබේ පිළිතුරු සටහන් නොකරයි.
- ලැපරොස්කොපි හෝ විවෘත සැත්කම වෙනුවට යෝනි මාර්ගය මට තෝරන්නේ ඇයි?
- ගර්භාෂය ඉවත් කිරීම සමඟ කුමන සකස් කිරීම් සැලසුම් කර තිබේද?
- මගේ ඩිම්බ කෝෂ ඉතිරි කරනවාද?
- ගර්භාෂය තබාගෙන මගේ බැසීමට ප්‍රතිකාර කළ හැකිද?
- පසු කලෙක නැවත බැසීමක් ඇතිවීමේ ඉඩක් තිබේද?
- නැවත බර එසවීමට, රැකියාවට යාමට සහ සංසර්ගයට කොපමණ කාලයක් ගතවේද?
- මගේම ප්‍රශ්න:
මූලාශ්‍ර සහ සමාලෝචනය
මෙම පිටුව පහත ප්‍රකාශිත මාර්ගෝපදේශවලට අනුව සකස් කරන ලදී. මූලාශ්‍ර ඉංග්‍රීසියෙන් පවතී.
- Royal College of Obstetricians and Gynaecologists. Vaginal hysterectomy, with or without repair — consent advice. London: RCOG. Available from: https://www.rcog.org.uk/guidance/browse-all-guidance/consent-advice/ [last checked 28 July 2026].
- National Institute for Health and Care Excellence. Urinary incontinence and pelvic organ prolapse in women: management. NICE guideline NG123. Available from: https://www.nice.org.uk/guidance/ng123 [last checked 28 July 2026].
- National Institute for Health and Care Excellence. Heavy menstrual bleeding: assessment and management. NICE guideline NG88. Available from: https://www.nice.org.uk/guidance/ng88 [last checked 28 July 2026].
- National Health Service (UK). Hysterectomy. Available from: https://www.nhs.uk/conditions/hysterectomy/ [last checked 28 July 2026].
අපගේම සායනවලින් රෝගී තොරතුරු
මෙම මාතෘකාව ගැන සුගබි හෝ vog.lk ලිපියක් තවම නොමැත. අදාළ කියවීම්:
- සුගබි සායනය, රාගම. ලැපරොස්කොපි ක්‍රමයට ගර්භාෂය ඉවත් කිරීම. https://sugabi.lk/surgery-guide/si/laparoscopic-hysterectomy/
- අන්තර්ගත හිමිකරු
- සුගබි සායනය, රාගම
- වෛද්‍ය සමාලෝචක
- විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට, MBBS, MD, DRCOG, DOWH, MRCPI, FRCOG
- අනුවාදය
- 1.0-si
- ප්‍රථම ප්‍රකාශනය
- 2026 අගෝස්තු 5
- අවසන් සමාලෝචනය
- 2026 අගෝස්තු 5 — විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
- ඊළඟ සමාලෝචනය
- 2027 අගෝස්තු
- තත්ත්වය
- ප්‍රකාශිතයි — වෛද්‍ය සමාලෝචනය සම්පූර්ණයි