Englishසිංහල

ලැපරොස්කොපි ක්‍රමයට මුත්‍රාශයේ ගෙල කොටස ඔසවා සවි කිරීම

වෙනත් නම්: Burch colposuspension · colposuspension · bladder neck suspension

වෛද්‍ය සමාලෝචනය: විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට, MBBS, MD, DRCOG, DOWH, MRCPI, FRCOG · ප්‍රකාශිතයි — වෛද්‍ය සමාලෝචනය සම්පූර්ණයි

සාරාංශය

මෙය උදරය තුල පීඩනය වැඩිවන විට මුත්‍රා කාන්දු වීම (stress urinary incontinence) සඳහා කරන සැත්කමකි. මේ මගින් නිවැරදි කරන්නේ කහින විට, කිවිසුම් යන විට, හිනා යන විට, බර ඔසවන විට හෝ ව්‍යායාම කරන විට මුත්‍රා කාන්දු වීමයි. මුත්‍රාශයේ ගෙල දෙපස ඇති පටක ස්ථිර මැහුම්වලින් ඔසවා, උකුල්ඇටයේ ඉදිරි කොටසට (pubic bone) පිටුපසින් ඇති ශක්තිමත් බන්ධනියට සවි කරන අතර, එමගින් අහිමි වූ ආධාරකය නැවත ලබා දේ. එවිට උදරය තුළ පීඩනය වැඩි වන විටත් මුත්‍රාශයේ ගෙල වැසී තිබේ. ලැපරොස්කොපි ක්‍රමයට මෙය සිදු කරන්නේ විශාල කැපුමක් වෙනුවට කුඩා කැපුම් හරහාය.

  • මෙයින් සුව කරන්නේ උදරය තුල පීඩනය වැඩිවන විට සිදු වන කාන්දු වීම පමණි. හදිසියේ මුත්‍රා පහ කිරීමට ඇති වන දැඩි ආවේගය (urgency) මෙයින් සුව නොවේ — එය වෙනම ගැටලුවක් වන අතර ප්‍රතිකාරද වෙනස් වෙයි.
  • සම්පූර්ණ නිර්වින්දනය යටතේ, කුඩා කැපුම් හතරක් හරහා සිදු කෙරේ (මිලිමීටර 10ක් එකක් සහ මිලිමීටර 5ක් තුනක්); සාමාන්‍යයෙන් පැය 1-2 අතර කාලයක් ගතවේ.
  • යොදා ගන්නේ ස්ථිර මැහුම් පමණයි — මෙෂ් (mesh) හෝ ටේප් කිසිවක් සිරුරට යොදන්නේ නැත.
  • මුත්‍රා කාන්දු වීම සඳහා ඇති සැත්කම්වලින් වැඩිම කලක් තිස්සේ භාවිතයේ ඇති, දිගුකාලීන ප්‍රතිඵල වැඩිපුරම විශ්වාසය දිනා ගෙන ඇති සැත්කම මෙයයි.
  • සැත්කම අවසානයේ මුත්‍රා බටයක් ඇතුළු කර තබනු ලැබේ — ආධාරකය තද කළ පසු දින කිහිපයක් මුත්‍රා හිරවීම හෝ මුත්‍රා පිටවීම මන්දගාමී විය හැකි බැවින්.
  • මැහුම් හොඳින් සුව වීමට සති 4–6ක් බර එසවීමෙන් සහ බර ඇල්ලීමෙන් වළකින්න.

සැත්කම ගැන

මුත්‍රාශයේ ගෙලට සහ මුත්‍රා මාර්ගයේ ඉහළ කොටසට යටින් ඇති ආධාරකය දුර්වල වූ විට උදරය තුල පීඩනය වැඩිවන විට මුත්‍රා කාන්දු වේ — බොහෝ විට දරු ප්‍රසූතියෙන් පසු, වයස්ගත වීමත් සමඟ, හෝ බර වැඩ කිරීම නිසා. එවිට කැස්සක් හෝ බර එසවීමක් මුත්‍රාශයේ ගෙල පහළට තල්ලු කරන අතර මුත්‍රා පිටතට කාන්දු වේ.

මෙම සැත්කමෙන් එම ආධාරකය නැවත සකසනු ලැබේ. උකුළු ඇටයේ ඉදිරි කොටස පිටුපසින් ඇති අවකාශයට ප්‍රවේශ වී, මුත්‍රාශයේ ගෙල දෙපස ඇති ශක්තිමත් යෝනි බිත්ති පටක හරහා සහ උකුළු ඇටයේ ඉදිරි කොටස පිටුපස ඇති iliopectineal (Cooper's) ligament බන්ධනියට, එක් පැත්තකට ස්ථිර මැහුම් දෙකක් හෝ තුනක් යොදනු ලැබේ. එම මැහුම් ගැට ගැසූ විට මුත්‍රාශයේ ගෙල එහි සාමාන්‍ය ස්ථානයට ඔසවා එහිම රඳවා තබා ගනී. කිසිදු පටකයක් මෙම සැත්කමේදී ඉවත් කරන්නේ නැහැ. මෙෂ් හෝ කෘත්‍රිම ටේප් යොදන්නේ නැත.

මෙම එකම සැත්කම ක්‍රම තුනකින් කළ හැක: ලැපරොස්කොපි ක්‍රමයට (කුඩා කැපුම් හරහා), විවෘත සැත්කමක් ලෙස (උදරයේ පහළ හරස් කැපුමක් හරහා), හෝ රොබෝ තාක්ෂණයෙන්. යොදන මැහුම් සහ මූලධර්මය එකමය; ලැපරොස්කොපි ක්‍රමයෙන් විශාල තුවාලය මග හැරෙන නිසා වේදනාව අඩු වන අතර සාමාන්‍ය වැඩ කටයුතු වලට ඉක්මනින් ආපසු යා හැක.

සිදු කරන්නේ ඇයි

සැත්කම සලකා බලන්නේ, ඔබට කරදරයක් වන මුත්‍රා කාන්දු වීමක් ඇති අතර, පළමුව කළ යුතු අනිකුත් ප්‍රතිකාරවලින් ප්‍රමාණවත් සුවයක් නොලැබුනු විටයි. මුත්‍රා කාන්දු වීම සඳහා අපගේ සාමාන්‍ය තේරීම මෙම සැත්කමයි. සාමාන්‍යයෙන් නිර්දේශ කරන අවස්ථා:

  • නිසි උපදෙස් සහ අධීක්ෂණය යටතේ කරන pelvic floor මාංශ පේශි ව්‍යායාම — ව්‍යායාම කිහිපයක් නොව, සම්පූර්ණ මාලාවක් — කර ප්‍රමාණවත් සහනයක් නොලැබීම
  • මුත්‍රා කාන්දු වීම නිසා එදිනෙදා ජීවිතයට බාධා වීම: රැකියාව, ව්‍යායාම, ගමන් බිමන්, නින්ද හෝ ආත්ම විශ්වාසය
  • පරීක්ෂණවලින්, කාන්දු වීම stress incontinence බව තහවුරු වීම — අධි ක්‍රියාකාරී මුත්‍රාශයක් (overactive bladder) නොවන බව; හෝ දෙකම ඇති විට ඒවා වෙන් කර හඳුනා ගැනීම
  • එකම ප්‍රවේශය භාවිත වන වෙනත් ශ්‍රෝණි සැත්කමක් සිදු කරන අතරතුර, මුත්‍රාශයේ ගෙලටද ආධාරකය ලබා දිය හැකි වීම

සැත්කමට පෙර මුත්‍රාශයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කෙරේ — මුත්‍රා පිටවීමේ දිනපොතක්, ආසාදනයක් නැති බව තහවුරු කිරීමට මුත්‍රා පරීක්ෂණයක්, මුත්‍රාශය හොඳින් හිස් වන්නේද යන්න බැලීම, සහ තෝරාගත් අවස්ථාවල urodynamic පරීක්ෂණය (මුත්‍රාශයේ පීඩනය මැනීම). වැරදි වර්ගයට සැත්කම කිරීමෙන් සහනයක් නොලැබෙන නිසා මෙම පරීක්ෂාව වැදගත්.

ප්‍රතිලාභ

  • උදරයේ පීඩනය වැඩි වන විටදී සිදු වන කාන්දු වීම නතර වේ, නැතහොත් සැලකිය යුතු ලෙස අඩු වේ — කහින විට, බර ඔසවන විට, දුවන විට හෝ හිනා යන විට කාන්දු නොවී සිටීමයි සැත්කමේ අරමුණ වන්නේ.
  • මෙෂ් හෝ ටේප් නැත. සකස් කිරීම කරන්නේ ස්ථිර මැහුම් යොදාගෙන නිසා, කෘත්‍රිම ටේප් (sling) සමඟ සම්බන්ධ විශේෂිත සංකූලතා මෙයට අදාළ නොවේ.
  • දිගුකාලීන පළපුරුද්ද. මුත්‍රා කාන්දු වීම සඳහා ඇති අනෙකුත් සැත්කම්වලට වඩා දිගු කලක් තිස්සේ මෙය අධ්‍යයනය කර ඇති නිසා, දිගුකාලීන ප්‍රතිඵල හොඳින් වාර්තා ගතව තිබේ.
  • විවෘත සැත්කමකට සාපේක්ෂව: කුඩා කැපුම්, අඩු වේදනාව, කෙටි රෝහල් ගතවීමක් සහ ඉක්මන් සුවය — යොදන මැහුම් සහ ඒවා යොදන ස්ථාන එකම වුවත්.
  • ඇතැම් විට, ඔබට සුදුසු නම්, එකම නිර්වින්දනයකින් වෙනත් ශ්‍රෝණි සැත්කමක් සමඟ එකට කරනු ලැබේ.

විකල්ප

  • නිසි උපදෙස් යටතේ pelvic floor ව්‍යායාම — නිසි ලෙස උපදෙස් ලබා ගෙන, අවම වශයෙන් මාස තුනක් අධීක්ෂණය යටතේ කරන exercise මාලාවක්. සැමට පළමුව මෙය කළ යුතු අතර, බොහෝ කාන්තාවන්ට එය ප්‍රමාණවත් වේ.
  • ජීවන රටාවේ වෙනස්කම් — අවශ්‍ය නම් බර අඩු කිරීම, දිගුකාලීන කැස්සක් හෝ මලබද්ධය වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීම, සහ කැෆේන් හා දියර පානය සීමා කිරීම; මේ සෑම එකකින්ම කාන්දු වීමට හේතු වන තත්වය නිවැරදි වේ.
  • යෝනි මාර්ගයේ රඳවනයක් හෝ ආධාරකයක් (pessary) — ව්‍යායාම වැනි විශේෂ අවස්ථා සඳහා.
  • මුත්‍රා මාර්ගයට ටේප් යෙදීම (TVT/TOT sling) — මුත්‍රා මාර්ගයේ මැද කොටසට ආධාරකයක් ලෙස කෘත්‍රිම ටේප් එකක් යෙදීම. ඵලදායී වන අතර සුවය ඉක්මන්; නමුත් මෙෂ් ආශ්‍රිත ක්‍රියාපිළිවෙත් සම්බන්ධයෙන් දැන් සීමා සහ විශේෂිත අනතුරු ඇඟවීම් ඇති නිසා ඒවා වෙනම සාකච්ඡා කෙරේ.
  • දැනට කිසිවක් නොකර සිටීම — ඔබ තීරණයක් ගන්නා තුරු පෑඩ් යොදා ගැනීමෙන් සහ ශ්‍රෝණි පත්ලේ ව්‍යායාමවලින් කළමනාකරණය කිරීමෙන්, පසුව සැත්කමක් කිරීමේ හැකියාවට කිසිදු බාධාවක් නොවේ.

සැත්කමට සූදානම් වීම

සැත්කමට පෙර පූර්ව-ශල්‍ය පරීක්ෂාවක් සිදු කෙරේ: රුධිර පරීක්ෂණ, රුධිර පීඩනය, සහ ඔබේ ඖෂධ හා සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීම — ඉහත සඳහන් මුත්‍රාශය පිළිබඳ පරීක්ෂණ සමඟම. ඔබ ගන්නා සියලු ඖෂධ — විශේෂයෙන් ලේ තුනී ඖෂධ — සහ පෙර සැත්කම් ගැන කණ්ඩායමට කියන්න; විශේෂයෙන් මුත්‍රා කාන්දු වීම හෝ බැසීම සඳහා පෙර කළ සැත්කම්, හෝ පෙර සිසේරියන් සැත්කම්, මන්ද ඒවා කලවා ඇටයට පිටුපස ඇති අවකාශය වෙනස් කරන බැවින්.

  • මුත්‍රා ආසාදනයක් ඇත්නම් සැත්කමට පෙර සුව කළ යුතුය.
  • තරබාරු බව, කැස්ස සහ මලබද්ධය: උදරයේ පීඩනය වැඩි කරන ඕනෑම දෙයක් සකස් කිරීමට එරෙහිව ක්‍රියා කරයි. දිගුකාලීන කැස්සක් හෝ මලපහ පිටවීමේ අපහසුතාවක් කලින්ම ප්‍රතිකාර කිරීමෙන් මැහුම් ආරක්ෂා වේ.
  • දුම්පානය: සති කිහිපයකට පෙර හෝ නැවතීමෙන් පෙනහළු හා තුවාල සංකූලතා අඩු වන අතර, මැහුම්වලට බලපාන කැස්සද අඩු වේ.
  • නිරාහාරව සිටීම: නිශ්චිත උපදෙස් ලබා දේ; සාමාන්‍යයෙන් පැය 6කට පෙර සිට ආහාර ගැනීමෙන් වැළකෙන්න, පැය 2කට පෙර දක්වා ජලය පානය කළ හැක.
  • නිවසේදී: මුල් සති දෙකට උදව් සූදානම් කරගන්න; බර එසවීමෙන් වළකින්න — ජලය, තෙත් රෙදි සහ දරුවන් ඔසවා ගැනීමද ඊට ඇතුළත්ය.

සැත්කම් දිනය

ඔබ රෝහලට ඇතුළත් වන්නේ සාමාන්‍යයෙන් සැත්කම් දිනයේය. කණ්ඩායම ඔබේ අනන්‍යතාව සහ සැලසුම් කළ සැත්කම තහවුරු කරන අතර, නිර්වින්දන වෛද්‍යවරයා සහ ශල්‍ය වෛද්‍යවරයා ඔබට හමුවේ. අවසන් ප්‍රශ්න ඇසීමට මේ වේලාවයි — ඔබට ඇති සියළුම ප්‍රශ්ණ ඇසීමට පසුබට නොවන්න.

කැමැත්ත ලිපියට අත්සන් කිරීමට ඔබෙන් ඉල්ලනු ලැබේ. එහි සැත්කම, එහි අපේක්ෂිත ප්‍රතිලාභ සහ ඔබට අදාළ අවදානම් සටහන් වේ — සැත්කමෙන් පසු මුත්‍රාශය හිස් වීම මන්දගාමී විය හැකි බව, අලුතින් මුත්‍රා ආවේගය ඇති විය හැකි බව, සහ අනපේක්ෂිත දෙයක් හමු වුවහොත් කුමක් කළ යුතුද යන්නද ඇතුළත්ව. මේ අවස්ථාවේ තවමත් ඔබට අදහස වෙනස් කළ හැක. ලේ කැටි ඇතිවීමේ අවදානම අඩු කිරීමට සාමාන්‍යයෙන් විශේෂ මේස් පලඳවන අතර, සැත්කම ආරම්භයේදී ප්‍රතිජීවක ලබා දෙනු ඇත.

සැත්කම අතරතුර

සැත්කම සිදු කරන්නේ සම්පූර්ණ නිර්වින්දනය යටතේ වන අතර ඔබ සම්පූර්ණයෙන් නිදා සිටින නිසා කිසිවක් නොදැනෙයි. මුත්‍රාශය හිස්ව තබා ගැනීමට සහ මුත්‍රාශයේ ගෙල නිවැරදිව හඳුනා ගැනීමට මුත්‍රා බටයක් තබනු ලැබේ.

සැත්කම සිදු කිරීමට ඉඩක් සෑදීම සඳහා උදරය කාබන්ඩයොක්සයිඩ් වායුවෙන් සෙමෙන් පුරවනු ලැබේ. කුඩා කැපුම් හතරක් යොදා ගනී — කැමරාව සඳහා මිලිමීටර 10ක කැපුමක් සහ උපකරණ සඳහා මිලිමීටර 5ක කැපුම් තුනක්. උදර කුහරය හරහා (transperitoneal ක්‍රමය) ක්‍රියා කරමින්, ශල්‍ය වෛද්‍යවරයා උකුළ් ඇටයේ ඉදිරි කොටස පිටුපස ඇති අවකාශය විවෘත කර, මුත්‍රාශයේ ගෙල දෙපස ඇති යෝනි බිත්තිය සහ ඉහළින් ඇති බන්ධනිය හොඳින් පෙනෙන ලෙස මේද පටක ගලවා වෙන් කරයි. ඉන්පසු එක් පැත්තකට ස්ථිර මැහුම් දෙකක් හෝ තුනක්, යෝනි බිත්ති පටක හරහා බන්ධනියට යොදා, මුත්‍රාශයේ ගෙල නිසි ස්ථානයට ඔසවන ලෙස ගැට ගසනු ලැබේ — ආධාරකයක් ලෙස පමණක්, ඉතා තදින් අදින්නේ නැත; අවශ්‍ය ප්‍රමාණයට වඩා තද කිරීමයි පසුව මුත්‍රා පහ කිරීමේ අපහසුතාවට හේතු වන්නේ. අවසානයේ වායුව පිට කර, කුඩා කැපුම් දියවන මැහුම්වලින් වසනු ලැබේ. සැත්කමට සාමාන්‍යයෙන් පැයක් හෝ පැය 2ක් පමණ ගතවේ.

ඇතැම් විට, ලැපරොස්කොපි ක්‍රමයෙන් ඉදිරියට යාම අනාරක්ෂිත වුවහොත් — උදාහරණයක් ලෙස පෙර සැත්කම්වලින් ඇති වූ ඇලීම් නිසා, හෝ එම අවකාශයේ ලේ ගැලීමක් නිසා — ඔබේ ආරක්ෂාව සඳහා විවෘත සැත්කමක් ලෙස සැත්කම සම්පූර්ණ කරනු ලැබේ. මෙය ඉතා දුර්ලභය.

සැත්කමෙන් පසු

ඔබ අවදි වන විට සැත්කම සම්පූර්ණයි. උරහිස් කෙළවරේ වේදනාවක් දිනක් දෙකක් තිබීම සුලභය — එය සැත්කමේදී භාවිත කළ වායුව නිසා ඇති වන අතර තනිවම පහව යයි; ඇවිදීමෙන් එය අඩු වේ.

  • වේදනා නාශක: නියමිත වේලාවට ගන්නා සරල වේදනා නාශක බොහෝ අපහසුතාව පාලනය කරයි; අවශ්‍ය නම් වඩා ප්‍රබල ඖෂධද ඇත.
  • මුත්‍රා බටය: සැත්කමෙන් පසු දින ඉවත් කරනු ලැබේ. ඉන්පසු ඔබ මුත්‍රා හොඳින් පහ කරන්නේද යන්න කණ්ඩායම සොයා බලයි — මුත්‍රාශයේ ගෙලට ආධාරකය ලබා දුන් පසු දින කිහිපයක් මුත්‍රා පිටවීම මන්දගාමී විය හැක. එසේ වුවහොත්, මුත්‍රා බටය වැඩිපුර කාලයක් තබා ගනී, නැතහොත් කෙටි කලකට ඔබටම බටයක් යොදා ගැනීම උගන්වනු ලැබේ. මෙය අපේක්ෂිත, තාවකාලික තත්ත්වයක් වන අතර සැත්කම අසාර්ථක වූ බවට ලකුණක් නොවේ.
  • ආහාර පාන: සාමාන්‍යයෙන් එදිනම, දියර වර්ගවලින් ආරම්භ කර, ඔබට පහසු පරිදි ආහාර ගැනීමට උපදෙස් ලබා දෙනු ඇත.
  • ඇවිදීම: එදිනම හෝ පසුදා උදෑසන ඇඳෙන් බැස ඇවිදිය හැක — ඉක්මන් ඇවිදීම සුවය ලැබීම වේගවත් කරන අතර ලේ කැටි ඇතිවීමෙන් ආරක්ෂා කරයි.
  • නිවසට යාම: සාමාන්‍යයෙන් සැත්කමෙන් පසු දින, ඔබට පහසුවක් දැනෙන අතර මුත්‍රා හොඳින් පහ වන බව තහවුරු වූ පසු; ඇතැම් රෝගීන් දෙවන දිනයද රැඳී සිටී.

නිවසේදී සුවය ලැබීම

  • පළමු සතිය: විවේකීව ඔබේ එදිනෙදා කටයුතු වල යෙදෙන්න. තෙහෙට්ටුවක් දැනීම සාමාන්‍යයි.
  • දෙවන සතියේ සිට: ක්‍රමයෙන් දෛනික වැඩ කටයුතු වැඩි කරන්න; බොහෝ කාන්තාවන් පෙර පරිදිම සාමාන්‍ය එදිනෙදා කටයුතු කර ගනී.
  • බර එසවීම සහ තැටමීම: සති 4–6ක් මේවායින් වළකින්න — මෙය වැදගත්ම උපදෙසයි, මන්ද සුව වන මැහුම්වලට එන පීඩනයයි ඒවා ලිහිල් කරන්නේ. මලපහ පිටවීමේ අපහසුතාවක් ඇත්නම් වහාම ප්‍රතිකාර ගන්න.
  • රිය පැදවීම: පැකිළීමකින් තොරව හදිසි බ්‍රේක් කිරීමක් කළ හැකි වූ විට — බොහෝ විට සති 2ක් පමණ.
  • සංසර්ගය: සති 6ක් පමණ ගත වූ පසු, ඔබට පහසුවක් දැනෙන විට.
  • ව්‍යායාම: මුලින් ඇවිදීම සහ පිහිනීම; තදබල ව්‍යායාම සහ බර ජිම් වැඩ සති 6ක් පමණ ගත වූ පසු, වෛද්‍යවරයාගේ උපදෙස් අනුව.
  • Pelvic floor (ශ්‍රෝණි පත්ලේ) ව්‍යායාම: සුවවීම ඉඩ දෙන පසු නැවත ආරම්භ කරන්න — ඒවා දිගුකාලීනව ප්‍රතිඵලය ආරක්ෂා කරයි.
  • මුත්‍රා පහ කිරීම: මුල් සතිවල මුත්‍රා ධාරාව මන්දගාමී වීම හෝ වෙනස් වීම සුලභ අතර සාමාන්‍යයෙන් සමනය වේ. මුත්‍රාශය සම්පූර්ණයෙන් හිස් නොවන බවක් දැනේ නම් කණ්ඩායමට කියන්න.

මෙම උපදෙස් ලැපරොස්කොපි සැත්කම සඳහා සාමාන්‍ය කරුණු පමණකි; ඔබට පුද්ගිකව ලැබෙන උපදෙස් ප්‍රමුඛව සලකන්න.

අවදානම් සහ සංකූලතා

සෑම සැත්කමකටම අවදානමක් ඇත. පහත අගයන් ප්‍රකාශිත එක්සත් රාජධානියේ මාර්ගෝපදේශවල සාමාන්‍ය අගයන්ය; ඔබේ පුද්ගලික අවදානම ඔබේ වයස, බර, අනෙකුත් රෝග තත්ත්ව සහ පෙර සැත්කම් මත රඳා පවතින අතර, එය ඔබ සමඟ සාකච්ඡා කෙරේ.

අපේක්ෂිත, තාවකාලික බලපෑම්

  • මුල් දින කිහිපයේ වේදනාව සහ තෙහෙට්ටුව; වායුව නිසා උරහිස් කෙළවරේ වේදනාව
  • කුඩා කැපුම් වටා තැලීම්
  • මුල් සතිවල මුත්‍රා ධාරාව මන්දගාමී වීම, සහ මුත්‍රාශය හිස් වීමට ටිකක් කාලය දීමට අවශ්‍ය වීම

සංකූලතා

  • මුත්‍රාශය හිස් කිරීමේ අපහසුතාව — මෙම සැත්කමෙන් පසු වඩාත් සුලභ ගැටලුව මෙයයි. සාමාන්‍යයෙන් එය කෙටි කලක් පවතින අතර දින කිහිපයක් බටයක් යොදා කළමනාකරණය කෙරේ; ඇතැම් විට වැඩි කලක් පවතින නිසා ටික කලක් ඔබටම බටයක් යොදා ගැනීමට සිදු වේ, සහ ඉතා දුර්ලභ අවස්ථාවක මැහුම් ලිහිල් කිරීමට අවශ්‍ය වේ.
  • අලුතින් හෝ වඩාත් තදින් මුත්‍රා ආවේගය (අධි ක්‍රියාකාරී මුත්‍රාශය) — කලින් නොතිබූ, හෝ සුළු වශයෙන් තිබූ, හදිසියේ වැසිකිළියට දිවීමට ඇති වන ආවේගය. මුත්‍රාශයේ ගෙලට ආධාරකය දුන් පසු මෙය ඇති විය හැකි අතර, මුත්‍රාශය නැවත පුරුදු කිරීමෙන් සහ අවශ්‍ය නම් ඖෂධවලින් ප්‍රතිකාර කෙරේ.
  • මුත්‍රා ආසාදනය — මුත්‍රාශයේ ඕනෑම සැත්කමකින් හෝ බටයක් යෙදීමෙන් පසු සුලභ වන අතර, ප්‍රතිජීවකවලින් ප්‍රතිකාර කෙරේ.
  • මුත්‍රාශයට හෝ මුත්‍රා නාලවලට හානි වීම — හඳුනාගත් හානි එම අවස්ථාවේම පිළිසකර කෙරේ (දුර්ලභ සංකූලතාවකි).
  • ලේ ගැලීම — කලවා ඇටයට පිටුපස ඇති අවකාශයේ; ඇතැම් විට එය ඉවත් කිරීමට හෝ රුධිර පාරවිලයනයකට අවශ්‍ය වේ (දුර්ලභ සංකූලතාවකි).
  • ලේ කැටි ගැසීම — කකුලේ හෝ පෙනහළුවල (VTE); වැළැක්වීමේ ක්‍රියාමාර්ග සාමාන්‍යයෙන් ගනු ලැබේ (දුර්ලභ සංකූලතාවකි).
  • පසු කලෙක පහත් වීමක් වීම — යෝනි මාර්ගයේ ඉදිරි බිත්තියට ආධාරකය ලබා දීමෙන් පසුපස බිත්තිය හෝ ඉහළ කොටස සාපේක්ෂව ආධාරක රහිත විය හැකි නිසා, පසු කාලයේ එම ස්ථානවල පහත් වීමක් ඇති විය හැක (දුර්ලභ සංකූලතාවකි).
  • කාලයාගේ ඇවෑමෙන් නැවත කාන්දු වීම — වයසත් සමඟ පටකවල ආධාරකය නැවත දුර්වල විය හැකි නිසා කාන්දු වීම නැවත ඇති විය හැක; ඇතැම් කාන්තාවන්ට පසුව තවත් ප්‍රතිකාරයක් හෝ සැත්කමක් අවශ්‍ය විය හැකියි.
  • කලවා ඇටය මත වේදනාව — මැහුම් සවි කර ඇති ස්ථානයේ (දුර්ලභ සංකූලතාවකි).
  • විවෘත සැත්කමකට හැරවීම — ආරක්ෂාව සඳහා (දුර්ලභ සංකූලතාවකි).
  • නිර්වින්දන අවදානම් — වෙනත් අයුරින් සෞඛ්‍ය සම්පන්න කාන්තාවන්ට බරපතළ නිර්වින්දන සංකූලතා දුර්ලභය.

උදව් ලබාගත යුත්තේ කවදාද

නිවසට ගිය පසු, පහත දේ දුටුවහොත් එදිනම වෛද්‍ය උපදෙස් ලබා ගන්න:

  • මුත්‍රා පහ කළ නොහැකි වීම, හෝ මුත්‍රාශය පිරී අපහසුතාවක් තිබියදී සුළු ප්‍රමාණයක් පමණක් පිටවීම — මෙයට වහාම අවධානය අවශ්‍යය
  • මුත්‍රා කිරීමේදී දැවිල්ල, හෝ නොනවතින ලෙස මුත්‍රාවල ලේ තිබීම
  • උණ (38 °C හෝ ඊට වැඩි) හෝ වඩ වඩාත් අසනීප ගතියක් දැනීම
  • වේදනා නාශකවලින් පාලනය නොවන, වැඩිවන යටි බඩේ වේදනාව
  • රතු වන, ඉදිමෙන, උණුසුම් වන හෝ දියර කාන්දු වන තුවාලයක්
  • පාදයක් වේදනාකාරී වීම හෝ ඉදිමීම

පපුවේ වේදනාව, හුස්ම ගැනීමේ අපහසුව, ලේ සමඟ කැස්ස, හෝ ක්ලාන්ත වීම ඇත්නම් වහාම ළඟම ඇති රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට යන්න — මේවා පෙනහළුවල ලේ කැටියක ලක්ෂණ විය හැකි අතර හදිසි අවස්ථාවකි.

මූලාශ්‍ර සහ සමාලෝචනය

මෙම පිටුව පහත ප්‍රකාශිත මාර්ගෝපදේශවලට අනුව සකස් කරන ලදී. මූලාශ්‍ර ඉංග්‍රීසියෙන් පවතී.

  1. National Institute for Health and Care Excellence. Urinary incontinence and pelvic organ prolapse in women: management. NICE guideline NG123. Available from: https://www.nice.org.uk/guidance/ng123 [last checked 29 July 2026].
  2. Royal College of Obstetricians and Gynaecologists. Consent advice — browse all guidance. London: RCOG. Available from: https://www.rcog.org.uk/guidance/browse-all-guidance/consent-advice/ [last checked 29 July 2026].
  3. National Health Service (UK). Urinary incontinence — surgery and procedures. Available from: https://www.nhs.uk/conditions/urinary-incontinence/surgery/ [last checked 29 July 2026].

අපගේම සායනවලින් රෝගී තොරතුරු

මෙම මාතෘකාව ගැන සුගබි හෝ vog.lk ලිපියක් තවම නොමැත. අදාළ කියවීම්:

  1. සුගබි සායනය, රාගම. යෝනි මාර්ගයෙන් ගර්භාෂය ඉවත් කිරීම. https://sugabi.lk/surgery-guide/si/vaginal-hysterectomy/
අන්තර්ගත හිමිකරු
සුගබි සායනය, රාගම
වෛද්‍ය සමාලෝචක
විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට, MBBS, MD, DRCOG, DOWH, MRCPI, FRCOG
අනුවාදය
1.0-si
ප්‍රථම ප්‍රකාශනය
2026 අගෝස්තු 5
අවසන් සමාලෝචනය
2026 ජූලි 29 — විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
ඊළඟ සමාලෝචනය
2027 ජූලි
තත්ත්වය
ප්‍රකාශිතයි — වෛද්‍ය සමාලෝචනය සම්පූර්ණයි